ඔබත් අකලට හිසකෙස් පැසීම නිසා පීඩාවෙන්ද?

වයස් භේදයකින් තොරව ඕනෑම කෙනෙකු තමාගේ රුව සුන්දරව තබා ගැනීමට දැඩි කැමැත්තක් දක්වයි. වර්තමානය වනවිට කාන්තා පිරිමි භේදයකින් තොරව මේ පිළිබඳව උනන්දු වන බවක් පෙනී යයි. ඒ අතරින් අකලට හිසකෙස් පැසීම යනු බොහෝ දෙනෙකුට පොදුවේ බලපාන කාලීන ගැටලුවකි.

“හිසකෙස්” ඕනෑම කෙනෙකුගේ පෙනුමට මෙන්ම පෞරුෂත්වයට බලපාන වැදගත් අංගයකි. හිසකෙස්වල ස්වභාවික පැහැය ලබාදෙන්නේ මෙලනින් නමැති වර්ණකය මඟිනි. මෙම මෙලනින් වර්ණකය වැඩි වනවිට හිසකෙස්වල පැහැය වැඩි වන අතර වර්ණකය අඩු වනවිට හිසකෙස්වල පැහැය අඩු වේ.

වයස්ගත වීමත් සමඟම හිසකෙස් සුදුවීම සාමාන්‍ය තත්ත්වයකි. සාමාන්‍යයෙන් වයස අවුරුදු 30න් පසුව හිසකෙස් සුදුවන්නේ නම් එය සාමාන්‍ය තත්ත්වයකි. වයස අවුරුදු 30ට පෙර හිසකෙස් සුදුවීම අකලට හිසකෙස් පැසීමක් ලෙස සැළකිය හැකිය.

අකලට හිසකෙස් පැසීම සඳහා ප්‍රධාන වශයෙන් පහත දැක්වෙන හේතු බලපායි.
• පීනස වැනි රෝග තත්ත්වයන්
• ආරය වැනි තත්ත්වයන් නිසා
• දැඩි මානසික පීඩනය.
• නිදි වැරීම.
• පෝෂණ ඌනතා.
• කෘතිම රසායනික ද්‍රව්‍ය අඩංගු ආලේපන හිස ගැල්වීම.
• නොසැළකිලිමත්කම.
• නිතර ක්ෂණික ආහාර ගැනීම.
• විවිධ රෝග සඳහා දීර්ඝ කාලීනව ඖෂධ ලබාගැනීම.

අකලට හිසකෙස් පැසීම සඳහා ප්‍රතිකාර කළ හැකිය. මෙම තත්ත්වයට මුලදී ප්‍රතිකාර කිරීමෙන් අකලට හිසකෙස් සුදුවීම පමා කරගත හැකිය. නමුත් හිසකෙස් සම්පූර්ණයෙන්ම සුදු වූ පසු එයට ප්‍රතිකාර කළ නොහැක.

ඔබේ හිසකෙස් අකලට සුදු වී ඇත්නම් ඒ සඳහා ඔබ භාවිතා කළ යුත්තේ රසායනික ද්‍රව්‍ය අඩංගු ඩයි වර්ගයක් නොව ස්වභාවික ඩයි වර්ගයකි. ස්වභාවික ඩයි හිසකෙස්වලට ඖෂධයක් වන අතරම ප්‍රතිකාරකයක් ද වේ. මේවා හිසේ ඇතිවන අනෙකුත් ගැටලු (හිස්හොරි, හිසකෙස් ගැලවී යාම) වලට ද ප්‍රතිකාරකයක් වන අතර හිසකෙස්වලට දිදුලන බවක් ද ලබාදෙයි.

ඔබටත් පහත දැක්වෙන ස්වභාවික ඩයි වර්ග නිවසේදී සාදා ගත හැකිය.

1. වදමල් හෝ සපත්තු මල් ඉස්ම මේස හැඳි 01 කට පොල්තෙල් හෝ ඔලිව් තෙල් මේස හැඳි 02ක් හා දෙහි යුෂ ස්වල්පයක් දමා අව්වේ කකාරන්න.ඉන්පසු එය හිසකෙස්වල හොඳින් ආලේප කර මද අව්වේ විනාඩි 10ක් පමණ සිට සෝදා හරින්න.
2. නිතරම පිරිසිදු පොල්තෙල් හිසෙහි ආලේප කිරීමෙන් හිසකෙස් පැසීම බොහෝ දුරට වළක්වයි.
3. වේලුණු නෙල්ලි රැයක් පොඟවා ගන්න.ඉන්පසු එය ලෝහ භාජනයක දමා තම්බා අඹරා ගන්න.එයට කෝපි කුඩු හා පොල්තෙල් ස්වල්පයක් දමා තලපයක් සේ සකසා ගන්න.මෙම ආලේපය හිසෙහි ගල්වා විනාඩි 30ක් පමණ වේලෙන්නට තබා සෝදා හරින්න.
4. නෙල්ලි මිශ්‍රණයට අර්තාපල් ලෙල්ල හොඳින් කොටා දමා දෙහි ඇඹුල් ස්වල්පයක් ද දමා හොඳින් කලවම් කර හිසකෙස්වල ගල්වන්න.මෙය ද ස්වභාවිකව හිසකෙස් කළු කිරීමේ තවත් ක්‍රමයකි.

හිසකෙස් සුදුවීම වැළැක්වීම සඳහා
• හැමවිටම පෝෂ්‍යදායී ආහාර ලබාගන්න.
• නැවුම් පළතුරු හා එළවළු ආහාරයට ගන්න.
• කෘතිම ආලේපන වෙනුවට ස්වභාවික ආලේපන භාවිතා කරන්න.
• දිනපතාම හිසකෙස්වලට පිරිසිදු පොල්තෙල් ආලේප කරන්න.
• පීනස වැනි රෝගී තත්ත්වයකින් පෙළෙන්නේ නම් එම රෝගී තත්ත්වයට නිසි ප්‍රතිකාර ලබාගන්න.

මෙවැනි ස්වභාවික ක්‍රම භාවිතා කර ඔබත් ඔබේ සුන්දරත්වය, පෙනුම තව තවත් වැඩිකර ගැනීමට උනන්දු වන්න.

Social media & sharing icons powered by UltimatelySocial
Call Now