කුරුලෑ කරදරයෙන් මිදෙන්න නිවැරදිම ක්‍රම ‍

කුරුලෑ යනු බැක්ටීරියා ආසාදනයකි. කුරුලෑ හටගෙන ඔබේ මුහුණෙහි කුරුලෑ කැලැල් ඇතිවූ පසු සමේ පැහැය නැවත යථා තත්ත්වයට පත්කිරීම තරමක් අපහසුය.මේ සඳහා ඔබ කොතෙක් උත්සාහ දැරුව ද එම ප්‍රයත්නය දුර්වල විය හැකිය. බොහෝ දෙනෙකු කුරුලෑ ආසාදන හටගත් විට ඒ සඳහා ප්‍රතිකාර සොයන්නේ කුරුලෑවලටම විශේෂිත වූ ප්‍රතිකාරවලට යොමුවීමෙනි. නමුත් ඔබ ඒ පිළිබඳව ඊට වඩා සංකීර්ණව සිතා බැලිය යුතුය.

කුරුලෑවලට එකවර ප්‍රතිකාර කරනවාට වඩා කුරුලෑ ආසාදන ඇතිවීමට හේතු වූ කරුණු සොයා ඊට පිළියම් කිරීම වඩා වැදගත් වේ. සෞඛ්‍ය සම්පන්න ජීවන රටාව ඔබ මඟහරින්නේ නම් කුරුලෑවලට සිදුකරන ප්‍රතිකාරවලින් ප්‍රතිඵල ලබාගැනීමේ හැකියාව අඩු ය.

සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ලබාගැනීමට පහත කරුණු දෙස අවධානව යොමු කරන්න
• කෙටි ආහාර ගැනීම,ක්ෂණික ආහාර ගැනීම හැකිතාක් සීමා කරන්න.
• සෞඛ්‍ය සම්පන්න,සමබල ආහාර වේලක් අනුභව කරන්න.
• නිතරම පලාවර්ග,කොළ පැහැති කහ පැහැති එළවළු,පළතුරු ආහාරයට එක්කර ගන්න.
• දිනපතාම වැඩි වැඩියෙන් ජලය පානය කරන්න.
• සිසිල් බීම,පැණි බීම වර්ග,කෝඩියල්,කෘතිම වර්ණක අඩංගු පාන වර්ග භාවිතයෙන් වළකින්න.
• ගැඹුරු තෙලේ බදින ලද මේදය බහුල කෙටි ආහාර ගැනීම ගැන විශේෂයෙන් සැළකිලිමත් වන්න.
• සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් සඳහා ව්‍යායාමද අතිශය වැදගත් වේ.
• මේකප්,මුහුණට යොදන ආලේපන නිසි පරිදි ඉවත් කර මුහුණ පිරිසිදුව තබාගැනීම.

අධික මේද සහිත ආහාරවලින් ඔබේ මුහුණේ කුරුලෑ ආසාදන හටගැනීමේ වැඩි ඉඩක් පවතී. ඔබේ මුහුණේ සෙබස් ග්‍රන්ථි මඟින් ස්‍රාවය කරන අතිරික්ත තෙල්, බැක්ටීරියා සමඟ එකතු වී අපිරිසිදු කුරුලෑ ඇතිකරන බැවින් විශේෂයෙන්ම ගැඹුරු තෙල්වල බදින ලද ආහාර භාවිතය ඔබට හානිදායක විය හැකිය.

නැවුම් එළවළු,පළතුරු,පළාවර්ග හැකිතරම් ආහාරයට එක්කර ගැනීම තුළින් කුරුලෑ ආසාදන ඇති අයගේ සමෙහි පැහැය,දීප්තිය වර්ධනය කරගත හැකිය.මන්ද ආසාදිත සම නැවත යතා තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය විටමින් එළවළු,පළතුරුවල අන්තර්ගත වන බැවිනි.

ඔබට ඇති මානසික ආතතිය,වෙහෙස අඩුකර ගැනීමට ව්‍යායාම උදව් වේ. මානසික ආතතිය කුරුලෑ ආසාදන ඇතිවීමට ප්‍රබල ලෙස බලපායි.

ඔබට කුරුලෑ ආසාදන ඇතිවිට ඔබ පළමුවෙන්ම කුරුලෑ සඳහා විශේෂ වූ බෙන්සොයිල් පෙරොක්සයිඩ් අඩංගු ක්ලෙන්සර් වර්ගයක් හෝ පවිත්‍රකාරකයක් යොදා මුහුණ හොඳින් පිරිසිදු කරගත යුතුය.එය ඔබේ සමේ සිදුරු තුළ ගැඹුරින් තැන්පත් වී ඇති බැක්ටීරියා ඉවත් කිරීමට උපකාරී වේ.එය බැක්ටීරියා විනාශ කරනවා පමණක් නොව මැරුණු සෛල ඉවත් වී නැවත කුරුලෑ ඇතිවීම වළක්වයි. පසුව ටෝනර් ස්වල්පයකින් මුහුණ පිසදමන්න.එහි පරමාර්ථය වන්නේ මියගිය සමේ සෛල ඉවත් කිරීමයි.ටෝනර් සමට මෘදුබවක් ලබාදේ. ඉන්පසු බෙන්සොයිල් පෙරොක්සයිඩ් අඩංගු ක්‍රීම් හෝ ජෙල් වර්ගයක් ආලේප කරන්න.එයින් ඔබේ සම අළුත්වැඩියා කරයි.කුරුලෑ සඳහා අතිරේක ආරක්ෂාවක් සපයයි.

මෙවැනි ප්‍රතිකාරවලට යොමුවීමෙන් හා සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ගතකිරීමෙන් ඔබටත් කුරුලෑ කරදරයෙන් මිදී සුන්දර සමක් උරුම කරගැනීමට හැකියාව ලැබේ.

මෙම පිළිවෙත් හා ඉහත උපදෙස් අනුගමනය කිරීම මගිනුත් ඔබගේ කුරුලෑ ආසාදන තත්වය පාලනය නොවුයේ නම් සම පිළිබද විශේසඥ වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබා ගැනීම සිදු කල යුතුය.

Social media & sharing icons powered by UltimatelySocial
Call Now