නිවසේදී මුහුණ පිරිසිදු කරන්නේ කෙසේද?

අපි හැමෝම ලස්සන සමකට ඉතාමත් කැමතියි, කැළැල් වලින් පිරි සමක් අපට තිබුණත් අපි සම ගැන දක්වන්නේ අඩු සැළකිල්ලකි. කාර්යබහුල ජීවන රටාවත් සමග අපට එදිනෙදා ජීවිතයේදී රූපය ගැන උනන්දු වීමට කාලයක් ලැබෙන්නේ නැති තරම්ය. එම කාර්යබහුලත්වය නිසාම රූපලාවණ්‍යාගාරයට යාමට පවා අවස්ථාවක් නොලැබේ. බොහෝ දෙනෙක් සම පිරිසිදු කිරීම සඳහා තමාගේ දින චර්යාවෙන් විනාඩි 20 ක්වත් වැය කරන්නේ නැති තරම්ය. ඔබට ඇත්තේ කුමන ආකාරයේ සමක් වුවත් ඒ සම නිවැරදිව පිරිසිදු කරගැනීම තුළින් ඔබේ සමට නිරෝගී, දීප්තිමත් පෙනුමක් ලබා ගැනීමට ඔබට හැකියාව ලැබේ.මේ නිසා ඔබේ සම ගැන සැලකිලිමත් වීම ඉතා වැදගත් වේ.

ඇත්තෙන්ම, ඔබේ මුහුණ යනු ඔබගේ කැඩපතයි. කලබලයට පත්වන විට, සතුටින් හෝ ආතතියෙන් පෙළෙන විට ඔබගේ හැගීම් ඔබේ මුහුණින් පිළිඹිබු වීම දැකගත හැකිය. එනිසා අපගේ සම නිරන්තරයෙන් රැකබලා ගත යුතුය.ඒ අතරින් මුහුණේ සම රැකබලා ගැනීම ඉතා වැදගත් කරුණකි. ඔබ රූපලාවණ්‍යාගාරයකට නොගියත්, නිවසේදී දිනපතා මුහුණ පිරිසිදු කිරීම ඔබගේ දෛනික ජීවන රටාවේ එන අනිවාර්ය අංගයකි. සාමාන්‍යයෙන් පුද්ගලයෙක් දිනකට 03 වතාවක් පමණ මුහුණ සේදීම කළ හැකි නම් ඉතා හොඳය. නිවසේදී මුහුණ පිරිසිදු කරගන්නේ කෙසේද යන්න පිළිබඳව පියවරෙන් පියවර මාර්ගෝපදේශයක් අපි ඔබට මෙම ලිපියෙන් ගෙන එනු ලබන අතර, ඔබේ මුහුණේ ස්වාභාවික සුන්දරත්වය වැඩි දියුණු කර ගැනීමට මෙම කරුණු ඉතා වැදගත් වනු ඇත.

1. සම පිරිසිදු කිරීම (Cleanser)
“දීප්තිමත්, පැහැපත් සමක් ලබා ගැනීම සඳහා මුහුණ හොඳින් පිරිසිදු කරගැනීම ඉතා වැදගත් වේ. මෙහිදී පළමුවෙන්ම ඔබ කළ යුත්තේ ඔබගේ මුහුණ පිරිසිදුකාරකයක් යොදා හොඳින් පිරිසිදු කරගැනිමයි. ඒ සඳහා ඔබ මුහුණේ සහ බෙල්ලේ cleanser හෝ face wash ස්වල්පයක් තවරාගෙන විනාඩි 05ක් පමණ මෘදුව සම්බාහනය කොට තෙත පුළුන් ආධාරයෙන් මුහුණ සහ බෙල්ල පිරිසිදු කරගත යුතුය. පසුව පිරිසිදු තුවායක් මගින් හොඳින් ස‍මෙහි තෙත මාත්තු කරගන්න. පසුව රෝස වතුර හෝ අයිස් වතුර ස්වල්පයක් කපු පුළුන් කැබැල්ලක තවරා මුහුණේ සහ බෙල්ලේ ආලේප(touch) කරගන්න. ස්වභාවික cleanser ලෙස කෝමාරිකා යුෂ ඔබට නිවසේදී සම පිරිසිදු කර ගැනීමට භාවිතා කළ හැකිය. වියළි සම සඳහා ඇල්කොහොල් වලින් තොර soft cleanser එකක් භාවිතා කරන්න.

2. හුමාලය ඇල්ලීම (Steam)
නිවසේදී මුහුණ ක්‍රමානුකූලව පිරිසිදු කරගැනීමට කාලය වෙන්කර ගැනීම කාර්යබහුල ඔබට තරමක් අසීරු විය හැකිය. කෙසේ නමුත් ඔබගේ සම නිරෝගීව හා පැහැපත්ව තබා ගැනීමට ඔබේ සම පිරිසිදුව තබාගැනීම ඉතා වැදගත් වේ. සම පිරිසිදු කරගැනීමේ ක්‍රියාවලිය තුළ හුමාලය ඇල්ලීම ඉතා වැදගත් අංගයකි. මුහුණ cleanser කරගැනීමෙන් අනතුරුව ඔබට නිවසේදිම ආසන්න වශයෙන් විනාඩි 05ක් පමණ හුමාලය ඇල්ලීම කළ හැකිය. එතුලින් ඔබේ මුහුණෙහි මාංශ පේශීන් ලිහිල් වී රුධිර සංසරණය වඩා වේගවත්ව සිදුවේ. මෙම රුධිර සංසරණ ක්‍රියාවලිය සමෙහි පැහැපත් බවට හා නිරෝගී භාවයට උදව් වේ.හුමාලය ඇල්ලීමෙන් අනතුරුව මුහුණ මෘදු ලෙස පිස දමන්න. ඔබට ඇත්තේ තෙල් සහිත සමක් නම් හුමාලය ඇල්ලිම ඉතා ඵලදායී වේ. අනතුරුව අයිස් කැට ආධාරයෙන් (රවුම් චලිතයකින්) ඔබේ මුහුණ සම්බාහනය කරගන්න, ඉන්පසු නැවත මුහුණ හොඳින් පිසදමා ගන්න.

3. ස්ක්‍රබ් කිරීම (Scrub)
සමට අඳුරු පෙනුමක් ලබා දෙන සමෙහි මැරුණු සෛල ඉවත් කිරීම “ස්ක්‍රබ් කිරීම”මගින් සිදුවේ. සාමාන්‍යයෙන් දින 14කට වතාවක් පමණ ස්ක්‍රබ් කිරීම කළ යුතුය. මන්ද ඕනෑම අයෙකුගේ මුහුණෙහි මතුපිට ස්තරය දින 14ක් තුල මළ සෛල තට්ටුවක් ලෙස ස්ක්‍රබ් එකකින් ඉවත් කරගත හැකිය. මේ සඳහා ඔබේ සමට ගැළපෙන ස්ක්‍රබ් එකක් තෝරාගෙන මුහුණෙහි ආලේප කර විනාඩි 05ක් පමණ තබා, හොඳින් උඩු අතට කවාකාරව මෘදු ලෙස ස්ක්‍රබ් කරගන්න. මෙම පියවර විනාඩි 05ක් පමණ සිදුකර තෙත ස්පොන්ජ් එකක් ආධාරයෙන් උඩු අතට ආලේපනය ඉවත් කරගන්න.ඔබට නිවසේදීම සාදාගත හැකි ස්ක්‍රබ් එකක් ලෙස සීනි සහ මී පැණි සම ප්‍රමාණයෙන් ගෙන මිශ්‍රකර ආලේපනයක් ලෙස සකසා ගතහැකිය. ස්ක්‍රබ් කර ගැනීමෙන් පසුව අයිස් වතුරෙන් හෝ රෝසවතුර ස්වල්පයකින් මුහුණ පිසදමන්න.

4. ෆේස් පැක් (Face pack)
ඔබගේ සමෙහි ස්වභාවය කුමක් වුවත්,තෙතමනයෙන් යුත්(moisture) ෆේස් පැක් එකක් යෙදීමෙන් ඔබේ සම මෘදු වන අතර ඔබේ සමේ පැහැපත් බව වැඩි දියුණු වේ.චර්ම රෝග විශේෂඥ වෛද්‍ය රාහුල් නගර් වැඩිදුරටත් පවසන්නේ “ඔබට අධික තෙල් සහිත සමක් ඇත් නම්,ඔබේ සමෙහි අතිරික්ත තෙල් ප්‍රමාණය ඉවත් කරගැනීමට මුල්ටානි මිට්ටි අඩංගු ෆේස් පැක් වර්ගයක් යෙදීම සුදුසු බවයි. ඉන්දියාවේ ප්‍රවීණ රූපලාවණ්‍ය උපදේශිකාවක් වන සුපර්නා ත්‍රිඛා පවසන්නේ “කෙසෙල්, තක්කාලි සහ පැපොල් ද ස්වභාවිකව සම පිරිසිදු කරගැනීමට යොදාගත හැකි අතර සමෙහි තද ස්වභාවය(tight) සඳහා බෙහෙවින් උපකාරී වන බවයි.”. ඔබට ඇත්තේ සාමාන්‍ය සමක් හෝ වියළි ස්වභාවයේ සමක් නම්,සුදු හඳුන් කුඩු රෝස වතුර සමඟ මිශ්‍ර කර ‍ෆේස් පැක් ලෙස සාදාගෙන මුහුණේ ආලේප කරගත හැකිය. මුල්ටානි මිට්ටි රෝස වතුර සමග මිශ්‍ර කර ආලේප කිරීම ද සමට හොඳ පෝෂණයක් හා පැහැපත් බවක් ලබාදෙන පැක් එකකි.

5. ටෝනර් කිරීම. (Toner)
ස්ක්‍රබ් කිරීමේදී හා ක්ලෙන්සර් කිරීමේදී සිදුවන්නේ සමෙහි ඇති රෝමකූප විවර වීමයි. එසේ විවර වුණු රෝමකූප වැසීමට ටෝනර් කරගැනීම අත්‍යාවශ්‍ය වේ. එනිසා සෑම පිරිසිදු කරගැනීමක් අවසානයේදීම ටෝනර් කරගැනීමට වගබලා ගතයුතුය. ඔබට නිවසේදීම සාදාගත හැකි ටෝනර් එකක් ලෙස පිපිඤ්ඤා යුෂ හා රෝස වතුර මුහුණට යොදාගත හැකිය. මෙය සමෙහි PH අගය සමතුලිතව පවත්වා ගැනීමට උපකාරී වේ. අයිස් වතුර ද මුහුණට ඉතා හොඳ ටෝනර් එකකි.

6.මොයිස්චරයිසර් ආලේප කිරීම. (Moisturizing)
අවසාන පියවර වශයෙන්, ඔබේ මුහුණේ සහ බෙල්ලේ තෙතමනය සුරකින ක්‍රීම් වර්ගයක් ආලේප කරන්න.පසුව උඩු අතට විනාඩි 05ක් පමණ මෘදුව සම්බාහනය කරන්න.විශේෂයෙන් නින්දට යාමට පෙර ඔබේ මුහුණට මොයිස්චරයිසර් ක්‍රීම් ආලේප කිරීමට අමතක නොකරන්න. “කුරුලෑ ඇති සම සඳහා බෙන්සොයිල් පෙරොක්සයිඩ් අඩංගු දියරයක් භාවිතා කරන්න” යනුවෙන් චර්ම රෝග විශේෂඥ වෛද්‍ය සහීර් අහමඩ් යෝජනා කරයි.

Social media & sharing icons powered by UltimatelySocial
Call Now