පිග්මන්ටේෂන් (Pigmentation) නිසා ඔබේ මුහුණත් අවලස්සන වෙලාද?

වර්තමානය වන විට කාන්තාවන්ට බහුල ලෙස මුහුණ පෑමට සිදුවන ගැටලුවක් ලෙස පිග්මන්ටේෂන් (Pigmentation) තත්ත්වය හඳුනාගත හැකිය. පිග්මන්ටේෂන් (Pigmentation) ලෙස හඳුන්වන්නේ මතුපිට සමෙහි සමහර තැන්වල මෙලනින් වර්ණකය වැඩි වශයෙන් තැන්පත් වී අඳුරු ලප,තිත් හා කැලැල් ඇතිවීමයි. මෙවැනි අඳුරු ලප වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ මුහුණේ කම්මුල් ප්‍රදේශවල ය.

පිග්මන්ටේෂන් (Pigmentation) ඇතිවීමට බලපාන හේතු කිහිපයකි.

1. සම අධික ලෙස හිරු එළියට නිරාවරණය වීමේ දී පාරජම්බුල කිරණවල බලපෑම මඟින් පිග්මන්ටේෂන් (Pigmentation) ඇතිවිය හැකිය.
2. ගර්භණී සමයේ ඇතිවන සංකූලතා ද පිග්මන්ටේෂන් ඇතිවීමට හේතුවක් වේ.
3. ජානවල බලපෑමක් හෝ හෝර්මෝනවල බලපෑම් නිසා.
4. බ්ලීචිං සහිත ක්‍රීම් වර්ග දීර්ග කාලීනව භාවිතා කිරීම.
5.උපත් පාලන පෙති දිර්ග කාලීනව භාවිතා කිරීම.
6. රසායනික ද්‍රව්‍ය සහිත ප්‍රමිතියෙන් තොර වර්ණක හිසකෙස් වර්ණ ගැන්වීමට යොදාගැනීම.
7. දීර්ග කාලීනව යම් රෝගයක් වෙනුවෙන් ලබාගත් බෙහෙතක අතුරු ඵලයක් වීම.
8. වියපත් වීමත් සමඟ මුහුණේ ඇති මැරුණු සෛල සහ මෙලනින් වර්ණකය එකට එක්වීම.

පිග්මන්ටේෂන් (Pigmentation) තත්ත්වය සඳහා වඩාත් සුදුසු වන්නේ ස්වභාවික සත්කාරයන්ය. එසේ භාවිතා කළහැකි ස්වභාවික සත්කාරයක් ඔබට නිවසේදීම පහසුවෙන් සකස් කරගත හැකිය.

අවශ්‍ය ද්‍රව්‍ය:
අර්තාපල් ගෙඩියක්,කැරට් අලයක්,කහ දොඩම් ගෙඩියක්,දෙහි යුෂ,කෝමාරිකා මදය,හාල් පිටි,කඩල පිටි සහ කහ

සාදාගන්නා ආකාරය:
අර්තාපල් ගෙඩිය හොඳින් ශුද්ධ කර බ්ලෙන්ඩ් කරගන්න.කැරට් කුඩා කැබලිවලට කපා බ්ලෙන්ඩ් කරගන්න. කහ දොඩම් ගෙඩියේ හා දෙහිවල ඉස්ම මිරිකාගන්න.කෝමාරිකා මදය සූරාගෙන තවත් කැබලි දෙකක් දෙකට පලා තබාගන්න.

සත්කාරය සිදුකරන ආකාරය:
මුහුණ හොඳින් සෝදා පිරිසිදු කර කෝමාරිකා මදවලින් ක්ලෙන්සර් කරගන්න.ඉන්පසු තෙත ස්පොන්ජ් එකකින් ක්ලෙන්සර් එක උඩු අතට ඉවත් කරගන්න.පසුව බ්ලෙන්ඩ් කරගත් අර්තාපල් තේ හැන්දක්, හාල් පිටි තේ හැන්දක් සහ ලෙමන් යුෂ ස්වල්පයක් ගෙන ස්ක්‍රබ් එක සකස් කරගෙන පිග්මන්ටේෂන් (Pigmentation) ඇති ස්ථානවල කවාකාරව විනාඩි දහයක් පමණ ස්ක්‍රබ් කරගන්න. එය තෙත ස්පොන්ජ් එකකින් ඉවත් කරගන්න.අර්තාපල් තේ හැන්දක්,කැරට් තේ හැන්දක්,කඩල පිටි තේ හැඳි දෙකක්,කහ කුඩු තේ හැඳි කාලක් කහ දොඩම් ඉස්මවලින් මිශ්‍ර කර ගන්න. ඉන්පසු පිග්මන්ටේෂන් (Pigmentation) ඇති තැන්වලත් සම්පුර්ණ මුහුණ මතත් මෙය ආලේප කරන්න. ඇස් මත පැක් එක ආලේප කළ නොහැකි නිසා අයිස් වතුරෙන් පෙඟවූ පුළුන් කැබලි දෙකක් ඇස් මත තබන්න.විනාඩි විස්සක් පමණ තබා සෝදා හරින්න.

මෙම සත්කාරය සති දෙකකට වරක් මාස හතරක පමණ කාලයක් නොකඩවා සිදුකරන්න.වඩාත් හොඳ ප්‍රතිඵල ඔබට ලබා ගත හැකිය.

Social media & sharing icons powered by UltimatelySocial
Call Now