වරලස වර්ණ ගන්වා ඔබගේ සුන්දර බව තවත් වැඩි කර ගන්න..

හිසකෙස් වර්ණ ගැන්වීම යනු කලාවකි. අද වනවිට එය කාන්තා පිරිමි භේදයකින් තොරව බොහෝ දෙනෙකු අතර අතිශය ජනප්‍රිය විලාසිතාවක් බවට පත්ව තිබේ. හිසකෙස් වර්ණ ගැන්වීමේදී ඔබ ඒ පිළිබඳව නිසි අවබෝධයක්,දැනුමක් ඇතිව කටයුතු කිරීම ඉතා වැදගත් වේ. විශේෂයෙන්ම ඔබ වර්ණ තෝරා ගැනීමේදී එය සමේ පැහැයට, ස්වභාවයට, වයසට, කෙස්වල හා ඇස්වල ස්වභාවික වර්ණයට ගැළපෙන ලෙස තෝරා ගත යුතුය.

බටහිර රටවල කාන්තාවන් භාවිතා කරන හිසකෙස් වර්ණ ගැන්වීමේ විලාසිතා ආසියාතිකයින් වන අපිට එතරම් උචිත නොවේ. එනිසා හිසකෙස් වර්ණ ගැන්වීම ආවාට ගියාට, හිතුමතේට සිදු කළ නොහැකි දෙයක් බව ඔබ මතක තබාගත යුතුය. මුලින්ම ඔබේ සමේ ස්වභාවය, සමේ පැහැය හඳුනා ගැනීම හිසකෙස් සඳහා වර්ණ තෝරා ගැනීමේදී විශේෂයෙන් වැදගත් වේ.

ඔබේ සම අව්වට නිරාවරණය වූ විට සම රතුපැහැ ගැන්වෙයි නම් හෝ සම අඳුරු පැහැ ගැන්වෙයි නම් ඔබ උණුසුම් සමක්/උණුසුම් ස්වභාවයක් සහිත කෙනෙකි. මෙවැනි අයගේ මැණික් කටුවේ ඇති රුධිර නාලිකා කොළ පැහැයෙන් දිස්වේ. රුධිර නාලිකා නිල් පැහැයෙන් දිස්වන්නේ නම් ඔබ සිසිල් සමක් ඇති අයෙකි.

උණුසුම් සමක් ඇති අය හිසකෙස් වර්ණ ගැන්වීමේදී කොපර්,චොක්ලට් බ්‍රවුන්,ඈෂ් බ්‍රවුන්,රිච් ගෝල්ඩන් බ්‍රවුන් වැනි වර්ණ තෝරාගැනීම වඩාත් ගැළපේ. ඔබට සිසිල් බවින් යුතු සමක් ඇත්නම් මැහෝගනි,චෙස්ට්නට්,බර්ගන්ඩ් වැනි රතු පැහැයට හුරු වර්ණ තෝරා ගැනීමෙන් වැඩි ආකර්ශණීය පෙනුමක් ලබාගත හැකිය.

ස්ථීර වර්ණ ගැන්වීමේ වාසි
• හිසකෙස් ස්ථීර වර්ණ ගැන්විමක් යනු දිගු කාලයක් හිසකෙස්වලට යෙදූ වර්ණය එලෙසම පවත්වාගත හැකි වර්ණ ගැන්වීමකි.
• තාවකාලික වර්ණක මෙන් නොව මේවා කෙස් මත ආලේප කර වැඩි වේලාවක් තැබිය යුතු වුවත් නිතර නිතර ආලේප කිරීම අවශ්‍ය නොවේ.
• වැඩි දීප්තියක් පවත්වා ගැනීමට අවශ්‍ය නම් ඉඳහිට Touch-up කිරීම ප්‍රමාණවත් වේ. මින් වරලසට වඩාත් ස්වභාවික පෙනුමක් ලබාගත හැකිය.
• ස්ථීර වර්ණ ගැන්වීමක වාසිය වන්නේ ඔබ ආධුනිකයෙකු වුවත් ඔබට මෙය නිවසේදී තනිවම වුවද සිදුකර ගැනීමේ හැකියාව පැවතීමයි.
• වැඩි කරදරයකින් හා කාලය වැය කිරීමකින් තොරව සිදුකරගත හැකි නිසා කාර්යබහුල අයටද ගැළපේ.
• නිතර නිතර වර්ණ ගැන්වීමේ අවශ්‍යතාවයක් නොමැති බැවින් සාපේක්ෂව වැයවන මුදල ද අවම වේ.

ස්ථීර වර්ණ ගැන්වීමේ අවාසි
• ස්ථීර වර්ණ ගැන්වීම්, තාවකාලික වර්ණක වලට වඩා ප්‍රබල බැවින් හිසකෙස්වලට හානිවීමටත්, අසාත්මිකතා ඇතිවීමටත් වැඩි හැකියාවක් පවතී.
• කාලයත් සමඟ මෙම ස්ථීර වර්ණක හිරු එළිය හා ෂැම්පු වර්ග සමඟ ගැටීම නිසා අවපැහැ වුවත් එම කෘතිම වර්ණකය හිසකෙස්වලින් ඉවත් නොවේ.
• වෙනත් වර්ණයකට මාරුවීමට අවශ්‍ය වුවත් එය අසීරු වීමේ ඉඩකඩක් පවතී.
• ස්ථීර වර්ණක බහුතරයක් ඇමෝනියා වැනි සැර රසායනික ද්‍රව්‍ය සහිත නිසා එවැනි රසායනික ද්‍රව්‍යවලින් තොර, ගුණාත්මක බවින් ඉහළ වර්ණක තෝරාගැනීමට ඔබ වැඩි අවධානයක් යොමුකළ යුතුය.

හෙනා වර්ණක යනු මොනවාද..
හෙනා ශාකයෙන් ලබාගන්නා මෙම වර්ණකය සම්පූර්ණයෙන්ම ස්වභාවික,ආරක්ෂිත නිෂ්පාදනයක් ලෙස ඔබට විශ්වාසයෙන් භාවිතා කළහැකි වර්ණකයක් මෙන්ම සත්කාරයකි. හෙනා මඟින් හිසකෙස්වලට ශක්තිමත්බවක්,දීප්තියක් හා සුමුදු බවක් ලබා දේ. කෙස්ගසෙහි බාහිර ආවරණය විනිවිද නොයන නිසා කෙස්ගසට හානිවීමේ අවධානමක් නොමැත. නමුත් ඔබ මතක තබාගත යුතු වැදගත්ම දෙය වන්නේ හෙනාවලින් හිසකෙස් වර්ණ ගැන්වූ පසු වෙනත් වර්ණක භාවිතා කිරීමෙන් ඵලක් නොවේ.මන්ද ‍හෙනා වර්ණකය බොහෝ දුරට ස්ථීර වර්ණ ගැන්වීමක් වන බැවිනි.

ඔබ හිසකෙස් වර්ණ ගැන්වීමට කුමන වර්ණකය භාවිතා කළද හිසකෙස්වලට සුළු වශයෙන් හෝ හානියක් සිදුවේ. එබැවින් මෙහිදී ඔබ වෙනදාට වඩා හිසකෙස් ගැන වැඩි සැළකිල්ලක් දැක්වීම අනිවාර්යයෙන් කළ යුතු වේ. ඔබේ හිසකෙස් රැකගැනීමට නම් වර්ණ ගැන්වූ හිසකෙස් සඳහා සුදුසු හොඳ තත්වයේ ෂැම්පු හා කන්ඩිෂනර් වර්ගයක් මෙන්ම හිසට තෙල් සාත්තුවක්, හෙයා මාස්ක් එකක් දැමීම වැනි සත්කාර අනිවාර්යයෙන්ම සිදුකිරීමට ඔබ වග බලාගත යුතුය.

Social media & sharing icons powered by UltimatelySocial
Call Now