ස්වභාවික අමුද්‍රව්‍ය භාවිතා කරමින් නිවසේදීම ඔබත් ෆේෂල් කරගන්න…

ඔබේ මුහුණ යනු ඔබේ මනසේ කැඩපතයි. විවිධ අවස්ථාවට අනුව ඔබේ සියලු හැඟීම පිළිඹිබු වන්නේ ඔබේ මුහුණෙනි. ඒ නිසාමයි ඔබේ මුහුණෙහි පැහැපත්බව,දීප්තිමත්බව රැකගැනීමට,ඔබගේ ස්වභාවික සුන්දරත්වය ඉස්මතුකර ගැනීමට ඔබ උනන්දු වියයුත්තේ..

කාර්යබහුල ජීවන රටාවක් ගතකරන ඔබට සුන්දරත්වය ගැන සිතීමට පවා කාලයක් නොමැති තරම් ය. නමුත් ඒ සඳහා ඉඩකඩ වෙන්කරගෙන සත්කාරයක් සිදුකරගැනීමෙන් ඔබේ ස්වභාවික සුන්දරත්වය ඉස්මතු කරගත හැකිය. ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගෙන නිවසේදීම ෆේෂල් සත්කාරයක් සිදුකරගන්නා ආකාරය පියවරෙන් පියවර පහත දක්වා ඇත.

නිවසේදීම ෆේෂල් එකක් සිදුකර ගන්නේ කෙසේද..?

පළමු පියවර : මුහුණ හොඳින් පිරිසිදු කරගන්න.

ඔබේ මුහුණ පිරිසිදු කරගැනීම ෆේෂල් සත්කාරයකදී සිදුකළ යුතු පළමු පියවරයි.මුහුණ ගැඹුරින් පිරිසිදු කරගැනීමට හා මුහුණෙහි ඇති අතිරික්ත තෙල්,දූවිලි ආදිය ඉවත් කිරීමට,මේකප් ඉවත්කර ගැනීමට මුහුණ පිරිසිදු කරගැනීම අත්‍යවශ්‍ය වේ.එය ෆේෂල් සත්කාරයක මූලික පියවරයි.මෙයින් සිදුකරන්නේ ෆේෂල් සත්කාරය සඳහා ඔබේ මුහුණ සූදානම් කරගැනීමයි.

සිදුකරන ආකාරය : 

මුලින්ම ඔබේ සමට ගැළපෙන ක්ලෙන්සර්(Cleanser)වර්ගයක් තෝරාගන්න.ඔබට ඇත්තේ තෙල් සහිත සමක් නම් තෙල් රහිත පවිත්‍රකාරකයක්(Oil Free Cleanser)තෝරාගත යුතුය.ඔබට වියළි සමක් ඇත්නම් Moisture ගතියෙන් යුතු මෘදු පෙණ පවිත්‍රකාරකයක් තෝරාගැනීම උචිතය. මිශ්‍ර සමක් ඇති අය සමේ වර්ග සඳහා විශේෂයෙන් සකස් කරඇති පිරිසිදුකාරකයක් තෝරාගැනීම වැදගත් වේ.මෙහිදී ඔබ කළ යුත්තේ Cleanser එකෙන් කව්පි ඇටයක ප්‍රමාණය ගෙන එය මුහුණේ Five Point හි (නළල, නාසය, නිකට හා කම්මුල් දෙක) ආලේප කර රවුම් ආකාරයට අඩු පීඩනයකින් සම මත ආලේපකර උඩුඅතට හොඳින් සම්බාහනය කරගැනීමයි. විනාඩි 05ක් පමණ එසේ සිදුකර සිසිල් ජලයෙන් මුහුණ සෝදාහරින්න.

මේ සඳහා භාවිතා කළහැකි ස්වභාවික ක්ලෙන්සර් එකක් ලෙස ඔබේ සම පිරිසිදු කරගැනීමට මී පැණි යොදාගත හැකිය.මී පැණිවල විශිෂ්ඨ ප්‍රතිබැක්ටීරියා හා හයි‌ඩ්‍රේටින් ගුණ ඇති අතර එමඟින් ඔබේ සමට මෘදු,පිරිසිදු බවක් ඇතිවේ.ඔබේ මුහුණ තෙත්කර ඒ මත මී පැණි ස්වල්පයක් යොදා විනාඩියක් දෙකක් පමණ සම්බාහනය කර සෝදා ඉවත්කළ හැකිය.මෙය සෑම වර්ගයේ සමක් සඳහාම ගැළපේ.

ස්වභාවික ක්ලෙන්සර් එකක් ලෙස පිපිඤ්ඤා යුෂ,කෝමාරිකා යුෂ ආදිය නිවසේදී ඔබට භාවිතයට ගතහැකිය.

දෙවන පියවර : ටෝනර් යොදන්න.

දෙවන පියවර ලෙස ඔබ මුහුණ ටෝනර් කරගත යුතුය.ෆේෂල් එකක එන සෑම පියවරකදීම අනිවාර්යයෙන්ම මුහුණ ටෝනර් කරගත යුතුය.ඊට හේතුව සම පිරිසිදු කරගැනීමෙන් අනතුරුව විවරවන රෝමකූප ආවරණය කරගැනීමට ටෝනර්වලට හැකියාව ඇත.

සිදුකරන ආකාරය :
මෙහිදීද ඔබේ සමට ගැළපෙන ටෝනර් වර්ගයක් තෝරාගෙන පිරිසිදු කරගත් මුහුණ මත පුළුන් කැබැල්ලක් ආධාරයෙන් මෘදු ලෙස ආලේප කරන්න.ස්වභාවික ටෝනර් එකක් ලෙස ඔබට නිවසේදී අයිස් වතුර හෝ රෝසවතුර භාවිතා කළහැකිය.මේවා ඉතාමත් හොඳින් මුහුණට උරාගනී.

තෙවන පියවර : මැරුණු සම ඉවත්කිරීම.(Scrub)

ෆේෂල් එකක් සිදුකිරීමේදී සිදුකරන තවත් වැදගත් පියවරක් ලෙස මැරුණු සම ඉවත්කිරීම හෙවත් ස්ක්‍රබ් කිරීම හඳුන්වාදිය හැකිය.ස්ක්‍රබ් කිරීමේදී සිදුවන්නේ ඔබේ සමෙහි සිදුරු අවහිර වන ලෙස ඇති සමෙහි මැරුණු සෛල ඉවත් කිරීමයි.සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙකුගේ මුහුණෙහි සම සති 02කට වරක් හෝ ස්ක්‍රබ් කළයුතු බව රූපලාවන්‍ය විශේෂඥයෝ පවසති.ස්ක්‍රබ් කිරීමෙන් ඔබේ සමේ තරුණ හා සෞඛ්‍ය සම්පන්න ස්තර හෙළිකිරීමෙන් ඔබේ මුහුණ ක්ෂණිකව දීප්තිමත් කිරීමට උපකාරී වේ.එදිනෙදා ඔබ නිවසේදී භාවිතා කරන ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගෙන ඔබට ස්ක්‍රබ් එකක් සාදාගෙන භාවිතා කළහැකිය.

සිදුකරන ආකාරය :
පිරිසිදු කරගත් මුහුණ මත ඔබේ සමට ගැළපෙන Scrub වර්ගයක් තෝරාගෙන එය ආලේපකර විනාඩි 10ක් පමණ තිබෙන්නට හරින්න.පසුව වතුරෙන් දෑත් තෙත්කර උඩු අතට හොඳින් වක්‍රාකාරව පිරිමදින්න.විනාඩි 05ක් පමණ හෙමින් සම්බාහනය කර පිරිසිදු සිසිල් ජලයෙන් සෝදාහරින්න.පසුව ටෝනර් ස්වල්පයක් පුළුන් කැබැල්ලකට ගෙන ආලේප කරන්න
.
ඔබට නිවසේදීම සාදා ගතහැකි ස්ක්‍රබ් එකක් ලෙස කෝපි ස්ක්‍රබ් භාවිතා කළහැකිය.කෝපි කුඩු මේස හැඳි 02ක් ගෙන එයට පොල්තෙල් මේසහැඳි 02ක් මිශ්‍රකර පසුව එය මුහුණේ හා බෙල්ලේ ආලේපකර හොඳින් ස්ක්‍රබ් කර අයිස් වතුරෙන් සෝදාහරින්න.

සිව්වන පියවර : හුමාලය ඇල්ලීම.

පිරිසිදු කරගත් මුහුණට හුමාලය ඇල්ලීම ඊළග පියවරයි.වාෂ්ප ඔබේ සම ලිහිල් කිරීමට හා සමේ සිදුරු විවෘත කිරීමට උපකාරී වේ.වාෂ්ප ඇල්ලීම මඟින් සිදුවන්නේ ඔබේ සමෙහි ඇති බැක්ටීරියා,විෂ අංශු ආදිය සමෙන් ඉවත් කිරීමයි.

සිදුකරන ආකාරය :
උතුරන උණු ජලය බේසමක් ගෙන ඔබේ මුහුණ හොඳින් වාෂ්පවලට නිරාවරණය වන සේ හොඳින් අල්ලන්න.ඔබේ මුහුණට එන හුමාලය පිටතට නොයන සේ රෙදි කඩකින් ආවරණය කරගෙන ඔබ හුමාලය ඇල්ලියයුතු වේ.මිනිත්තු 5-10ක් පමණ මෙම ක්‍රියාවලිය සිදුකිරීමෙන් ඔබට යහපත් ප්‍රතිඵල ලබාගත හැකිය.මෙසේ වාෂ්ප අල්ලන විට උණු ජලය බේසමට කස්තුරි කහ,වෙනිවැල්ගැට කුඩු ස්වල්පයක් එක්කිරීමෙන් වඩාත් හොඳ ප්‍රතිඵල ලබාගත හැකිය.

පස්වන පියවර : බ්ලැක් හෙඩ්ස්/වයිට් හෙඩ්ස් ඉවත් කිරීම.

වාෂ්ප ඇල්ලීමෙන් පසු මූලිකවම සිදුවන්නේ ඔබේ සමෙහි සෛල තට්ටුව ලිහිල් වීමයි.එම ලිහිල් වූ සමෙහි Black Heads/White Heads පහසුවෙන් ඉවත්කර ගත හැකිවේ.එසේ කිරීමෙන් සමට සිනිඳු බවක් ලබාදීමට හැකියාව ලැබේ.

සිදුකරන ආකාරය :
ඔබ කළ යුත්තේ බ්ලැක් හෙඩ්ස් එස්ට්‍රැක්ටර් (Blackheads Extractor) එකක් භාවිතා කර ඔබේ මුහුණේ ඇති Black Heads/White Heads හොඳින් ඉවත්කර ගැනීමයි. 

Blackheads Extractor - beautytips.lk

මෙම උපකරණ භාවිතා කිරීමේදී හැමවිටම නටන උණුවතුරෙන් සෝදා භාවිතයට ගැනීම ඉතාම වැදගත් වේ.මන්ද එම උපකරණවල විෂබීජ තැන්පත්වීමට ඉඩඇති බැවිනි.ඔබේ මුහුණේ අවලස්සනට පිහිටා ඇති Black Heads/White Heads ඉවත්කරන විට සුදුපැහැති ද්‍රව්‍යයක් පිටවනු ඔබට දැකගත හැකිය.මෙසේ මුළු මුහුණම පිරිසිදු කරගැනීමෙන් අනතුරුව මඳ උණුසුම් ජලයෙන් මුහුණ සෝදා තෙත මාත්තුකර ටෝනර් ආලේප කළයුතුය.

හයවන පියවර : පැක් යෙදීම.

Facial Pack එකකින් සිදුවන්නේ සමට පෝෂණයක් ලබාදීමයි.ඔබේ සමට නිරෝගී මෙන්ම දීප්තිමත් පෙනුමක් ලබාදීමට Face Pack එකකට හැකියාව ඇත.ඔබ මුහුණට හුමාලය ඇල්ලීමෙන් අනතුරුව ඔබේ සමට පෝෂණයක් ලබාදීම අත්‍යවශ්‍ය වේ.අහිතකර දුම්,හිරු එළිය සහ රසායනික ද්‍රව්‍ය වැනි හානිකර සාධක සමඟ ඔබ නිරන්තරයෙන් ගැටීම නිසා ඔබේ සමට හානි සිදුවිය හැකිය. Face Pack එකක් ඔබ භාවිතා කළයුත්තේ එම හානිකර සාධකවලට එරෙහිව කටයුතු කිරීමටත්, ඔබේ සමට හොඳ පෝෂණයක් හා තරුණ පෙනුමක් ලබාදීමටත්,සමෙහි දුර්වර්ණ බවට හොඳ පිළියමක්ද වශයෙනි.සමෙහි ඇතිවන විවිධ ගැටලු සඳහා ප්‍රතිකාර ලෙස ෆේස්පැක් එකක් භාවිතා කළහැකිය.

සිදුකරන ආකාරය :
මෙහිදී ඔබේ සමට ගැළපෙන Face Pack වර්ගයක් ඔබට භාවිතා කළහැකිය.වෙළඳපොළෙන් මිලදීගත් Face Pack එකක් වුවද ඔබට මෙහිදී භාවිතා කළහැකිය.ඔබට ඇත්තේ සාමාන්‍ය හෝ මිශ්‍ර සමක් නම් මී පැණි මේස හැන්දකට යෝගට් මේස හැන්දක් මිශ්‍රකර තලපයක් සේ සාදා මුහුණේ ආලේප කළහැකිය.ඔබට ඇත්තේ තෙල් සහිත සමක් නම් මුල්තානි මිට්ටි මේස හැන්දක් සමඟ මී පැණි මේස හැන්දක් එක්කර තලපයක් ලෙස ගෙන මුහුණේ ආලේප කළහැකිය.වියළි සම සඳහා පොඩි කළ කෙසෙල් ගෙඩියකට මී පැණි මේස හැන්දක් මිශ්‍රකර ආලේප කළහැකිය.මුල්තානි මිට්ටිවලට රෝසවතුර මිශ්‍රකර මුහුණේ ආලේප කිරීමෙන් ද ඉතා හොඳ ප්‍රතිඵල ලබාගත හැකිය.මෙසේ Face Pack එක ආලේපකර විනාඩි 20ක් පමණ වියළෙන්නට හැර සිසිල් ජලයෙන් සෝදා ඉවත්කරන්න.ඉන්පසු ඔබේ සමේ විවරවූ සිදුරු මුද්‍රා තැබීමට ටෝනර් ස්වල්පයක් මුහුණේ ආලේප කරන්න.ටෝනර් යෙදීමෙන් සමෙහි තෙතමනය ද ආරක්ෂා වේ.සමෙහි PH අගය ද සමතුලිත කරයි.

හත්වන පියවර : මොයිස්චරයිසර් ක්‍රීම් ආලේපය.

ෆේෂල් සත්කාරයක අවසාන පියවර මෙයයි.ඔබේ මුහුණෙහි දීප්තිමත්භාවය සඳහා සමට තෙතමනය අවශ්‍ය වේ.එයින් ඔබේ තරුණ පෙනුම ද ඉස්මතු වේ.එබැවින් සමෙහි පෝෂණයට මෙන්ම දීප්තිය ඉස්මතුවීමට මොයිස්චරයිසර් ක්‍රීම් අත්‍යවශ්‍ය වේ.හිරු එළියෙන් සමට සිදුවන බලපෑමට ද ප්‍රතිකාර ලෙස මොයිස්චරයිසර් ක්‍රීම් වැදගත් වේ.

සිදුකරන ආකාරය :
සමට ගැළපෙන මොයිස්චරයිසර් ක්‍රීම් වර්ගයක් තෝරාගෙන කඩල ඇටයක ප්‍රමාණය ගෙන මුහුණෙහි Five Point හි ආලේපකර මෘදු ලෙස උඩුඅතට රවුම් චලිතයකින් සම්බාහනය කරන්න.ඔබේ සමට හොඳින් මොයිස්චරයිසර් ක්‍රීම් අවශෝෂණය වීමට ඉඩහරින්න.ඔබට නිවසේදී භාවිතා කළහැකි ස්වභාවික මොයිස්චරයිසර් එකක් ලෙස කෝමාරිකා මදය භාවිතා කළහැකිය.

මෙවැනි ආලේපන භාවිතා කර නිවසේදීම ඔබට මෙම පියවර අනුගමනය කරමින් ෆේෂල් සත්කාරයක් සිදුකර ගැනීමෙන් ඔබටත් දීප්තිමත්,තරුණ මෙන්ම පැහැපත් සමක් උරුම කරගැනීමේ හැකියාව ලැබේ.

Social media & sharing icons powered by UltimatelySocial
Call Now