සුන්දර දෑත් සහ දෙපා යුගලක් හිමි කර ගන්නේ කෙසේද?

සුන්දරත්වය ගැන කතාබහ කිරීමේදී මුහුණට මෙන්ම ඔබ අවධානය යොමු කළයුතු වැදගත් අංගයක් ලෙස දෑත් සහ දෙපා හඳුනාගත හැකිය.

බොහෝ කාන්තාවන් දෑත් අලංකාර කරගැනීමට වීසිතුරු ආභරණ පළඳින අතර දෙපා හැඩ කරගැනීමට විවිධ මාදිලි‌යේ පාවහන් යොදාගනී.නමුත් මෙහිදී වඩා වැදගත්වන්නේ ඔබේ සැබෑ සුන්දරත්වය මතු කර පෙන්වන දෑත්,දෙපා සුන්දරව පිරිසිදුව තබාගැනීමට ඔබ දක්වන උනන්දුවයි.

බොහෝ දෙනෙක් මුහුණට සිදුකරන සත්කාරයන් දෑත් සහ දෙපාවලට සිදුනොකරන අතර ඒ සඳහා දක්වන්නේ අඩු සැළකිල්ලකි. මේ හේතුව නිසා දෑත්වල සහ දෙපාවල සම වියළි ස්වරූපයක් ගන්නා අතර ඇතැම් කාන්තාවන්ගේ සම ඉරිතැලුණු ස්වභාවයක් පෙන්වයි. මෙහිදී ඔබ කළයුත්තේ දිනපතා උදෑසන හා නින්දට යාමට පෙර දෑත් හා දෙපාවල මොයිස්චරයිසින් ක්‍රීම් හොඳින් ආලේප කිරීමයි.නැතිනම් හැකි සෑම අවස්ථාවකදීම බොඩි ලෝෂන් වර්ගයක් දෑත්,දෙපාවල ආලේප කිරීම වැදගත් වේ.

වැඩි වැඩියෙන් ජලය පානය කිරීම ද දෑත්,දෙපාවල සමට පෝෂණය ලබාදීමට බෙහෙවින් උපකාරී වේ. නමුත් ඔබේ සම අධික ලෙස වියළි ස්වභාවයක් ගනී නම් ඖෂධීය තෙල් වර්ගයක් ඔබට ආලේප කළහැකිය.බේබි ඔයිල්,ඔලිව් ඔයිල්,ආමන්ඩ් ඔයිල් හා මේ සඳහාම විශේෂ වූ ඔයිල් වර්ගයක් භාවිතා කිරීම වැදගත් වේ.‍මෙවැනි තෙල් ඉතා හොඳින් සමට පෝෂණය ලබාදෙන අතර ක්‍රීම් එකකට වඩා හොඳ ප්‍රතිඵල ලබාගත හැකිය. එමෙන්ම අත්,පා වල සුන්දරත්වය ඉස්මතු කරලීමට නියවලට හැකියාවක් ඇත.බොහෝ දෙනෙක් නියවලට දක්වන්නේ ද අඩු සැළකිල්ලකි. මෙහිදී නිය ආලේපනයක් ගැල්වීමට පෙර නිය හොඳින් පිරිසිදුව තබාගැනීම වැදගත් වේ.

ඔබට නිය හැඩකර ගැනීම සඳහා රූපලාවන්‍යාගාරයකට ගොස් මෙනිකියු එකක් කරගැනීමේ හැකියාවක් ඇත.ඉන් ඔබේ නියවලට වැඩි සුන්දරත්වයක් එක්කරයි. ඔබ නිවසේදී නිය පිරිසිදු කරගන්නේ නම් නිය කටර් එකකින් නියපොතු පිළිවෙලට කපා පිරිසිදුව තබාගන්න.

නිය ආලේපන ගැල්වීම පිළිබඳව ද ඔබට අවබෝධයක් තිබිය යුතුය.උත්සව සඳහා සහභාගිවීමේදී ඔබගේ ඇඳුමට,විලාසිතාවට ගැළපෙන අයුරින් නිය ආලේපන වර්ණ ගැල්විය හැකිය.එමෙන්ම නිය හැඩකිරීමට විවිධ වර්ණ රටා මවමින් Nail Art, කෘතිම නිය ඇලවීම ආදිය තුළින් ඔබගේ නියවලට වැඩි සුන්දරත්වයක් ලබාදිය හැකිය.

කාන්තාව සුන්දරව සිටීමට පමණක් නොව විවිධ විලාසිතාවන් යටතේ ඇති ආභරණ පැළඳීමට ද වැඩි කැමැත්තක් දක්වයි.දෑත් අලංකාර කරගැනීමට මුදු,විවිධ හැඩැති බ්‍රේස්ලට්,වළලු,අත් ඔරලෝසු ආදිය භාවිතා කරයි.පාදවලට පා සළඹක් වුවද පැළඳීමෙන් දෙපා හැඩකර ගැනීමේ හැකියාව ඇත.ඇතැම් කාන්තාවන් දෑත් දෙපා අලංකාර කරගැනීමට ටැටූ සහ මෙහෙන්දි චිත්‍ර ආදී නිර්මාණාත්මක දෑ භාවිත කරයි.

දෑත් දෙපාවල පැහැදිලිබව හා අලංකාරය රැකගැනීමට සමෙහි අනවශ්‍ය රෝම ඉවත්කර ගැනීම වැදගත් කරුණකි. අත් පා වල රෝම අධික ලෙස පිහිටා ඇත්නම් එය කාන්තාවකගේ ප්‍රසන්න භාවයට ගැටලුවක් වේ. ලංකාවේ කාන්තාවන් බොහොමයක් විලාසිතාවලට වැඩි නැඹුරුවක් දැක්වුවද තමන්ගේ දෑත් දෙපාවල අනවශ්‍ය රෝම ඉවත්කර ගැනීමට එතරම් උනන්දුවක් නොදක්වයි.

අනවශ්‍ය රෝම ඉවත්කිරීමේදී බොහෝ කාන්තාවන් රේසරයකින් රෝම ඉවත් කිරීමට පෙලඹෙන එය එතරම් සුදුසු ක්‍රමයක් නොවේ.අනවශ්‍ය රෝම ඉවත්කිරීමේ වඩාත් සුදුසු ක්‍රමය වන්නේ වැක්ස් කිරීමයි.වැක්ස් මඟින් රෝම ඉවත්කිරීමේදී සමෙහි සිනිඳු භාවයට හානියක් සිදුනොවේ.රෝම නැවත වැවීමද අවම වේ.වැක්ස් කිරීම මසකට වරක් පමණ සිදුකිරීම ප්‍රමාණවත් වේ.නමුත් රේසර් කිරීම සතියෙන් සතිය සිදුකළ යුතුය.ඉන් සම ගොරෝසු වන අතර කටු ඇනෙන ස්වභාවයක් ගනී.එයින් කාන්තාවකගේ සියුමැලිබව තුරන් වී රළු ස්වභාවයක් ඉස්මතු කරයි.

කාන්තාවන්ගේ දෙපා යටිපතුල් පැලීම නිසා දෙපාවල සුන්දරත්වය අහිමිව යයි.වියළි සමක් ඇති කෙනෙකුගේ යටිපතුල් ඉක්මණින් පැළීමට ලක්වේ.මෙහිදී පතුල්වල වියළි බව නැතිකර ගැනීමටත්,යටිපතුල් නිතරම පිරිසිදුව තබාගැනීමටත් ඔබ උනන්දු වියයුතුය.මෙම තත්වය වැඩි වශයෙන් පවතීනම් එවැනි අවස්ථාවක සුදුසු වෛද්‍ය ප්‍රතිකාර ගැනීම වැදගත් වේ.

තවත් සමහර අය පාවහන් නොපැළඳීම නිසා දෙපා දුර්වර්ණ වේ.මෙවැනි අය නිතරම නිවසින් පිටතට යනවිට පාවහන් පැළඳීමට වගබලාගත යුතුය.එයින් යටිපතුල්වල කුණු,දුහුවිලි රැඳීම අවම කරගත හැකිය.

මෙසේ ඔබේ දෑත් හා දෙපාවලට නිවැරදිව සත්කාර සිදුකිරීමෙන් ඔබේ පෙනුමට වැඩි ආකර්ෂණයක් එක්කර ගතහැකිය.

 

Social media & sharing icons powered by UltimatelySocial
Call Now