හිස්හොරි කරදරයෙන් මිදෙන්න ඔබත් කැමතිද?

නිරෝගී කෙස් කළඹ කාන්තාවකට ආභරණයකි. ඒ නිසාම ඔබ කෙස් කළඹ ගැන වැඩි අවධානයක් යොමු කළයුතු වේ. ‍කෙස් කළඹ ගැන කතා කිරීමේදී “හිස්හොරි”බොහෝ දෙනෙකුට ඇති පොදු ගැටලුවක් බවට පත්ව තිබේ. “හිස්හොරි”යනු කාන්තා, පිරිමි දෙපාර්ශවයටම පොදුවේ බලපාන හිස්කබලේ හටගන්නා දිලීර විශේෂයකි. හිස්හොරි සුදු පැහැති කුඩු මෙන් හිස් කබල මත තැන්පත් වීමක් දැකිය හැකිය.

ඕනෑම කෙනෙකුගේ හිසෙහි මැරුණු සම මෙලෙස සුදු පැහැති කුඩු වශයෙන් ඉවත්ව යාම සාමාන්‍ය තත්වයකි. මෙය සුළු වශයෙන් පවතී නම් එය හිස්හොරි තත්වයක් ලෙස සැළකිය නොහැකිය. නමුත් එම ස්වභාවය වැඩිවශයෙන් පවතී නම් ඒ පිළිබඳව ඔබ සැළකිලිමත් විය යුතුය.

හිස්හොරි ප්‍රධාන වශයෙන් වර්ග 02 කි.
1. වියළි හිස්හොරි
වියළි හිස්හොරි සුදු පැහැති කුඩු වශයෙන් හිස් කබල පුරාම දක්නට ලැබේ.වියළි හිස්හොරි පවතින විට හිස නිතරම කැසීමකට ලක් වේ.

02. තෙල් සහිත හිස්හොරි
තෙල් සහිත හිස්හොරි ඉටි වර්ගයක් ලෙස හිස් කබලට ඇලී පවතී. තෙල් සහිත ස්වභාවය නිසා හිස් කබල මතුපිට විෂබීජ එකතු වී හිසෙහි දුර්ගන්ධයක් ද ඇතිවේ.

“හිස්හොරි” ඇති වීමට පහත හේතු ප්‍රධාන වශයෙන් බලපායි.
• හිස් කබලේ වියළි බව.
• හිස් කබලට ගල්වන තෙල්වර්ග හිසෙහි තැන්පත් වීම.
• කුණු, දූවිලි හිසෙහි තැන්පත් වීම.
• ලේ ගමනාගමනය ක්‍රමානුකූල නොවීම.
• මානසික පීඩනය/ආතතිය.
• විවිධ ආසාදන තත්වයන්.
• හෝර්මෝනවල වෙනස්කම්.
• නිතර හිසට හෙයා ස්ප්‍රේ,ෂැම්පු වර්ග,කොලොන් වර්ග යෙදීම.

නව යොවුන් වයසේදී හිස්හොරි සුලබව ඇතිවීමට හේතුව වන්නේ මෙම වයසේදී තෙල් ග්‍රන්ථිවල ක්‍රියාකාරිත්වය වැඩි නිසා සමෙහි තෙල් සහිත ස්වභාවය වැඩිපුර පැවතීමයි.

හිස්හොරිවලට අවශ්‍ය මූලිකම ප්‍රතිකාරය වන්නේ හිස හැමවිටම පිරිසිදුව තබාගැනීමයි. හිස්හොරි වැඩි වශයෙන් තිබෙන අය දවසක් හැර දවසක් හිස්හොරි සඳහා විශේෂ වූ ෂැම්පු වර්ගයකින් හිස පිරිසිදු කර ගැනීම ඉතා වැදගත් වේ.

හිස්හොරි නලල,බෙල්ල,පිට වැනි ප්‍රදේශවලට වැටීම නිසා කුඩා බිබිලි,කුරුලෑ ආසාදන ප්‍රභලව ඇතිවේ. එබැවින් හිස්හොරි ආසාදන සුවකර ගැනීමෙන් කුරුලෑ ගැටළුවට ද විසඳුම් සපයාගත හැකිය.

වියළි හිස්හොරි ඇති අයට ඖෂධීය තෙල් වර්ගයක් දමා හිස හොඳින් සම්බාහනය කර පීරා, මෘදු ෂැම්පු වර්ගයක් යොදා හිස හොඳින් සෝදන්න.එවිට වියළි හිස්හොරි කැබලි හිසෙන් ඉවත් වි යයි.මෙය ඉතා හොඳ සත්කාරයකි. එහෙත් දිනපතා මෙය සිදුකිරීම සුදුසු නොවේ.‍

හිස්හොරි බැක්ටීරියා විශේෂයක් මගින් හටගන්නා අතර තවත් කෙනෙකුට ඉතා පහසුවෙන් බෝ වියහැකි ආසාදනයකි. ඒ නිසා හැමවිටම ඔබේ පවුලේ අනෙක් අයට හිස්හොරි තිබුණත් නැතත් ඔබ භාවිතා කරන හිස පීරන පනා, කොට්ට, තුවා ආදිය වෙන් වෙන්ව තබාගැනීම හොද පුරුද්දකි.
හිස්හොරි තත්වය පාලනය කිරීම සඳහා සත්කාර කිරීම අතිශය වැදගත් වේ. ඒ අතරින් ස්වභාවික සත්කාර සිදුකිරීම තුළින් ඔබට නිරෝගී කෙස් කළඹක් ලබාගත හැකිය.

හිස්හොරි සඳහා ප්‍රතිකාර ඔබට නිවසේදීම සිදුකරගත හැකිය. මේ සඳහා වඩාත්ම සුදුසු වන්නේ උළුහාල් මිශ්‍ර දෙහි සත්කාරයයි. නමුත් හිස්හොරි නිසා ඔබේ හිස් කබල කැසීමෙන් තුවාල වී තිබේනම් දෙහි භාවිතය සුදුසු නොවේ.

දෙහි උළුහාල් සත්කාරය සිදුකරගන්නේ කෙසේද…

අවශ්‍ය ද්‍රව්‍ය:
දෙහි (ගෙඩියක යුෂ)
උළුහාල් (මේස හැඳි 04ක්)

සාදාගන්නා ආකාරය:
පෙර දින රාත්‍රියේ උළුහාල් ටික පෙඟෙන්නට දමන්න.පසුදා එම උළුහාල් ගෙන බ්ලෙන්ඩරයකට දමා හොඳින් බ්ලෙන්ඩ් කරගන්න.එය තලපයක් ආකාරයට සාදාගෙන එම මිශ්‍රණයට දෙහි ඉස්ම එකතු කර හැන්දකින් හොඳින් කලවම් කරගන්න.

සත්කාරය සිදුකරන ආකාරය:
මෙම සත්කාරය සිදුකිරීමට පෙර මෘදු ෂැම්පු වර්ගයක් යොදා කුණු,දුහුවිලි ඉවත්වන සේ හිස්කබල හොඳින් සෝදාගන්න.ඉන්පසුව සාදාගත් උළුහාල්,දෙහි මිශ්‍රණය බුරුසුවක් ආධාරයෙන් හිස්කබලේ හොඳින් ආලේප කරගන්න. මෙය ආලේප කිරීමට තවත් අයෙකුගේ සහය ලබාගන්න. ඉන්පසු විනාඩි 10ක් පමණ හිස හොඳින් සම්බාහනය කරගන්න. සම්බාහනය අවසන් වූ පසු ප්ලාස්ටික් හිස් වැස්මකින් හෝ ෂවර් කැප් එකකින් විනාඩි 20-30ත් අතර කාලයක් හිස්කබල හොඳින් වසා තබන්න. ඉන්පසු හිස වැස්ම ඉවත්කර උණුවතුර පෙඟවූ තුවායකින් හිස සම්පූර්ණයෙන්ම ආවරණය කර තබන්න. පසුව එය ඉවත් කරන්න. මේ ආකාරයට නැවත නැවත එම ක්‍රියාකාරකම තුන් වතාවක් පමණ සිදුකර හිසකෙස් සම්පූර්ණයෙන්ම පිරිසිදු වතුරෙන් සෝදාහරින්න. මෙම සත්කාරය මසකට දෙවරක් හෝ තුන්වරක් සිදුකිරීමෙන් ඉතාමත් හොඳ ප්‍රතිඵල ලබා ගතහැකිය.

මීට අමතරව පොල්තෙල් මේසහැඳි 05කට Tea Tree Oil බිංදු 10ක් පමණ එක්කර එම මිශ්‍රණය රාත්‍රියේදී ඔබේ හිස්කබලේ ආලේප කර උදෑසන සෝදා ඉවත් කරන්න.

විනාකිරි ජලය සමඟ මිශ්‍රකර හිසේ ආලේපකර සම්බාහනය කරන්න. විනාඩි 20ක් පමණ තබා සෝදාහරින්න. විනාකිරි මඟින් හිසරදයට හේතු වියහැකි දිලීර විනාශකර කැසීම අඩුකරයි. හිසරදය අඩුකරයි.

මීට අමතරව හිස්හොරි කරදරයෙන් මිදීමට තවත් කරුණු කිහිපයක් කෙරෙහි අවධානය යොමු කළයුතුය.
• හිස හොඳින් සෝදා පිරිසිදුව තබාගැනීම.
• වියළි හිස්හොරි පවතීනම් දින දෙක තුනකට වරක් ෂැම්පු යෙදීම ප්‍රමාණවත් වේ.
• තෙල් සහිත හිස්හොරි පවතී නම් දිනක් හැර දිනක් හිස්හොරි සඳහා විශේෂ වූ ෂැම්පු වර්ගයකින් හිස සේදීම වැදගත් වේ.
• හිස පීරන පනා,කොට්ට,තුවා ආදිය පොදුවේ භාවිතා නොකිරීම.
• සත්ත්ව තෙල් අඩංගු ආහාර විශේෂයෙන් උෂ්ණ අධික ආහාරවලින් වැළකීම.(ඉස්සන්,දැල්ලන්,හරක් මස් වැනි)
• අධික තෙල් සහිත ආහාරවලින් ඈත් වීම.
• කොළ පැහැති,කහ පැහැති එළවලු,පළතුරු,පළා වර්ග ආහාරයට එක් කරගැනීම.
• කුකුල් මස්,මාළු,බිත්තර,කිරි සහ විටමින් A,B,E සහිත ආහාර ශරීරයට ලබා ගැනීම.

මෙවැනි පිළිවෙත් සිදුකිරීම මඟින් ඔබටත් හිස්හොරි ආසාදනවලින් තොර නිරෝගී කෙස්කලඹක් උරුම කරගැනීමට හැකියාව ලැබේ.  මෙම පිළිවෙත් හා ඉහත උපදෙස් අනුගමනය කිරීම මගිනුත් ඔබගේ හිස්හොරි සුව වුයේ නැතිනම් සම පිළිබද විශේසඥ වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබා ගැනීම සිදු කල යුතුය.

Social media & sharing icons powered by UltimatelySocial
Call Now